Thursday 18th of June 2026

English Tamil
Advertiesment


ජාති ආගම් නොතකන සජිත් 


2024-08-20 14899


පාස්කු ඉරුදින ප්‍රහාරයේ සැබෑ තතු නොපමාව අනාවරණය කරගන්නවා
-අගරදගුරු හිමි හමුවේ විපක්ෂ නායකගෙන් පොරොන්දුවක්

t

මීට පෙර පොරොන්දු වූ ආකාරයටම, පාස්කු ඉරුදින ප්‍රහාරයේ සැබෑ තොරතුරු අප්‍රමාදිව අනාවරණය කරගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමුවේ ප්‍රකාශ කළේය. විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අගෝස්තු (18) වැනිදා කොළඹ අගරදගුරු නිවෙසේදී අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු කොළඹ පදවියේ සහයක රදගුරුතුමන්ලා මුණගැසී ආශීර්වාද ලැබූ අවස්ථාවේදීය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනතාව අපේක්ෂා කරන සත්‍යය අනාවරණය කිරීමට තමා ඇතුළු සමඟි ජන බලවේගයේ සහ සමඟි ජන සන්ධානයේ සියලු‍ දෙනා සූදානම් බවත්, මේ සම්බන්ධයෙන් තමාට පැහැදිලි වැඩපිළිවෙළක් ඇති අතර, එය පාර්ලිමේන්තුවේ පවා සභාගත කර ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහිදී පැවසීය. මෙරට කතෝලික ප්‍රජාව ප්‍රමුඛ සමස්ත ජනතාවගේ අපේක්ෂාව මේ ප්‍රහාරය සම්බන්ධයෙන් වන පරීක්ෂණ විනිවිදභාවයෙන් සිදු වූවාද? මෙහි සත්‍යය හෙළි කරගත්තාද? යන ගැටලු‍ව බවත්, එනිසා මේ සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණ සිදු කර කාදිනල් හිමි ප්‍රමුඛ කතෝලික සභාව සෑම විටම මේ සම්බන්ධයෙන් දැනුවත් කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. එබැවින් පාස්කු ප්‍රහාරයේ සුලමුල සහ සත්‍යය සොයන වැඩසටහන කිසිදු භේදයකින් තොරව ක්‍රියාත්මක කරන බවද, ඒ සත්‍යය කෙසේ හෝ සොයා බලා ඊට සම්බන්ධ සියලු‍ දෙනාට නීතිය හමුවේ දිය හැකි උපරිම දඬුවම් දෙන බවද විපක්ෂ නායකවරයා මෙහිදී අගරදගුරුතුමාට පොරොන්දු විය.

කොළඹ අගරදගුරු පදවියේ සහයක රදගුරු තැන්පත් අති උතුම් මැක්ස්වෙල් සිල්වා හිමිපාණන්, අති උතුම් ජේ.ඩී. ඇන්තනි හිමිපාණන් සහ අති උතුම් ඇන්ටන් රන්ජිත් හිමිපාණන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment